Searching...
Monday, August 26, 2013

විල්බට් අයියාගේ කසාදය

සමුපකාරෙ වැඩ කළ විල්බට් අයියාව ගමේ ‍පොඩි එවුන් පවා අඳුනනවා. ඕනෑවට එපාවට කතා කරන, අනුන්ට ඕනෑවට වාගේ වැනි වැනී ගමන්  බිමන් යන විල්බට් අයියා, හුළඟක් ආවොත් ගහගෙන යාවි කියලා හිතෙන තරමට කෙසඟ පුද්ගලයෙක්. රස්සාවක් තිබුණාට ගෙයක් දොරක් තිබුණාට විල්බට් අයියාට හරිහමං සහකාරියක් නම් හොයාගන්න බැරි වෙලා තිබුණා. කසාදයක් බඳින්න ඕනෑය කියන අදහස විල්බට් අයියාගේ හිතේ තැම්බි තැම්බි තිබුණා වුණාට සෑහෙන කාලයක් යනකම්ම විල්බට් අයියාගේ ඒ අදහස පලදැරුවේ නෑ. විල්බට් අයියා බොහෝම ලැජ්ජාකාරයෙක් වීමත් විල්බට් අයියාට පවු‍ලේ කාත් කවුරුත් නොමැති වීමත් ඊට හේතුව වුණා.
wawugampattuwaකාලෙකට ඉහත එක දවසක් උදේ පාන්දරම ගමේ සමුපකාරේ වහ‍ලේ උඩ නැගලා විල්බට් අයියා ලොකු බෝඩ් ලෑල්ලකුත් එල්ලාගෙන උන්නා “මට කසාද බඳින්න උදව් කරනකම් මම බිමට බහින්නේ නෑ” විල්බට් අයියා අත තිබුණු බෝඩ් ලෑල්‍ලේ එහෙම ලියල තිබුණා. අන්තිමේදී ගමේ කොල්ලෝ කීපදෙනෙක් සහ සමුපකාරේ මැනේජර මහත්තයා ඇතුළු වැඩිහිටි පිරිසකුත් එක්කාසු වෙලා විල්බට් අයියාට බිරිඳක් හොයලා දෙන වගට ‍පොරොන්දුවක් දීලා විල්බට් අයියාව සමුපකාරේ වහලෙන් බිමට බස්සවා ගත්තා.
විල්බට් අයියාට දුන්නු ‍පොරොන්දුව ඉටු කරන්න විල්බට් අයියාගේ මිත්‍රයෝ වැවුගම්පත්තුව පුරාම ඇවිද්දා අන්තිමේදී වැවුගම් පත්තුවේ තරමක් කෙළොරේ පිහිටි ගමක් වෙච්ච කොක්නහර ගමෙන් විල්බට් අයියාට සහකාරියක් හොයා ගත්තු විල්බට් අයියාගේ මිත්‍රයෝ විල්බට් අයියාට උන්දැගේ සහකාරියව මුණ ගස්වන්න දිනයකුත් තීන්දු කරගෙන තිබුණා.
තමන්ගේ අනාගත සහකාරියව මුලින්ම බැහැදකින්න යන දවස ළංවෙද්දි විල්බට් අයියා හිටියේ පිස්සුවෙන් වගේ. තමන්ගේ පාපැදිය ගම වටේම වේගෙන් පදින ගමන් හමුවෙන හමුවෙන කෙනාට විල්බට් අයියා තමන්ගේ මඟුල් ගෙදරට එන මෙන් ආරාධනා කරන්න පටන් ගත්තා.
“යකෝ තාම කෙල්ලව උඹ දැක්කෙවත් නෑනේ කෙල්ලව මුලින්ම බලලා හිටපිය. පස්සේ මඟුල් කාපිය”.
කට හැකර රංබණ්ඩා මහත්තයා එහෙම කීවා වුණත් විල්බට් අයියා කීවේ වෙන කතාවක්.
“මම මේ මුලින්ම බලන්න යන කෙල්ල මම මෙයාව බඳින එක බඳිනවාමයි“.
විල්බට් අයියාගේ පිස්සු වැඩ අතරින් දවස් ගලාගෙන ගියා. අන්තිමේදී විල්බට් අයියා සහ එයාගේ ජීවන සහකාරිය මුණ ගැහෙන්න තීරණය කරගත්තු ඒ තීරණාත්මක දවස උදා වුණා. විල්බට් අයියගේ ආරාධනයක් අනුව මේ ගමනට මමත් එකතු වුණා. කුලියට ගත්තු කෝට් එකක් සහ කළු දිග කලිසමක් ඇඳගෙන හිටි විල්බට් අයියා එදා බොහොම කඩවසම් බව කාටත් පෙනුණා. දකුණු පය පෙරට තියලා රාහු කා‍ලේ මැඩගෙන කුලියට ඉල්ලා ගත්තු ලොරි බාගෙක නැගගත්තු අපි දවල් කෑම වෙලාව කිට්ටු කරලයි විල්බට් අයියාගේ ජීවන සහකාරියගේ ගෙදරට ළඟා වුණේ. දිගාමුඩුලු මීකිරි හට්ටි හතරකුත් තෑගි විදිහට අරගෙන ගිය අපි වත්තට ඇතුළුවෙනකොටම ලොකු කලබල ගතියක් දැක්කා ... ඒ කලබලය මොකක්ද කියලා බලන්න හිතේ උපන්න කුතුහලයෙනුයි අපි කවුරුත් ගෙදරට අඩිය තිබ්බේ.
“අනේ අපේ දූට යකෙක් වැහිලා. අපි මේ තොවිලයක් නටන්න හදනවා. ඔහේලට එන්න එපාය කියලා ටෙලිග්‍රෑම් එකක් එව්වා”.
ගෙදරට අඩිය තියනකොටම විල්බට් අයියාගේ අනාගත මාමා කියපු කතාව ඇහිලා අපි කවුරුත් බය වුණා. ගේ ඇතුළේ කාමරයෙන් හූ කියන කෑගහන ගොරවන හඬ ඇහෙනවා. ඒ හඬ විල්බට් අයියාගේ අනාගත මනාලියගේ හඬ බව නම් සහතිකයි. අපි කවුරුත් ආපහු යන්න හැරුණේ ආපහු නොඑන අදහසින්. ඒත් විල්බට් අයියාගේ හිත නම් යන්න නොවන බව මට තේරුණා.
ආ පයින්ම හැරුණු අපි කවුරුත් යන්න වාහනයට නැගලා බලින්නං විල්බට් අයියා වාහනයේ උන්නේ නෑ. හැම තැනම විල්බට් අයියාව හොයාපු අපි අන්තිමේදී උන්දෑව හොයා ගත්තා. විල්බට් අයියා යකා වැහුණු තරුණියගේ කාමරේ දොර මුල්‍ලේ ඇයත් සමග හැංගිලා හිටියා. “ඔය කවුරු මොනා කීවත් මං මෙයාව බඳිනවා මට මෙයාමයි ඕනේ” විල්බට් අයියා එහෙම කියද්දී කාගෙත් ඇස්වලට කඳුළු ඉනුවා.
ඒ කිව්වා වගේම විල්බට් අයියා සහ යකා වැහුණු තරුණිය අතිනත ගත්තා. කසාද බැන්ද දවසේ විල්බට් අයියගේ සන්තෝසෙන් පිරුණු මූණ මට තාම මතකයි. අද වෙනකොට විල්බට් අයියාට ‍පොඩි දරුවෙකුත් ඉන්නවා. ඒත් පිළිකාවක් හැදිලා මාස ගාණක් දුක් විඳපු විල්බට් අයියගේ බිරිඳ මීට මාස කීපයකට කලින් මියගියා. විල්බට් අයියා ‍පොඩි එකා එක්ක ආයෙමත් වතාවක් වැවුගම්පත්තුවේ තනි වුණා.

උපුටාගැනිම - ලක්බිම


0 comments:

Post a Comment

 
Back to top!